මනෝ විද්‍යාව

මතකය අක්‍රමතා අතර ඉතාමත් දුර්ලභ ඇල්ෂයිමර් රෝගය පිළිබඳ විග්‍රහයක් 

Sick
​මතක අක්‍රමතාවන් සහ වයස්ගතවීමත් සමඟ ඇති විය හැකි අක්‍රමතා අතර ඉතා දුර්ලභ රෝගී තත්වයක් ලෙස ඇල්ෂයිමර් රෝගය හැඳින්විය හැක. ඇල්ෂයිමර් රෝගය (Alzheimer’s disease) යනු කුමක්දැයි යන්න පිළිබඳවත් එම රෝගය සහිත පුද්ගලයෙකු තුළ ඇති කෙරෙන කායික හා මානසික වෙනස්කම් පිළිබඳවත් එම ලක්ෂණ හේතුවෙන් පුද්ගල ජීවිතයට ඇති විය හැකි බලපෑම මෙන් ම එම තත්වය වර්ධනය විය හැකි ආකාරයත් මෙවැනි ඉතා දුර්ලභ ගණයේ රෝගී තත්වයක් සහිත පුද්ගලයෙකු රැකබලා ගන්නෙ කෙසේද යන්න පිළිබඳව විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණු වේ.

ඇල්ෂයිමර් රෝගය ඇතිවීම හා එහි ලක්ෂණ

ඇල්ෂයිමර් රෝගය යනු අමතකවීම ඇතිකරන ප්‍රධානතම හේතුවකි. මෙය ලොව පුරා මිලියන 24 ක් වූ ජනතාව අතර දක්නට ඇති තත්වයකි. යොවුන් වියේ පසුවන අයට ක්‍රමයෙන් වියපත් වෙද්දී තමන්ගේ මතකය යම් තරමකින් අඩුවීම බහුල වශයෙන් දැක ගත හැකිය. මතකය අඩුවීම හෙවත් ඇල්ෂයිමර් රෝගය වැඩි වශයෙන් වැළඳෙන්නේ අවුරුදු 65ට වැඩි වයස්ගත පුද්ගලයන්ට ය. එහෙත් කලාතුරකින් වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන්ට ද මෙම තත්ත්වය වැළඳි ඇති අතර ඊට වඩා අඩු වයස් ඇති අය අතර වුවද ඉතාමත් කලාතුරකින් මෙම තත්වය දක්නට ඇත. ඇල්ෂයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වෙන විනාශකාරී රෝගයක් වන අතර මේ වනවිට ද නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගෙන නොමැත. මෙම  රෝගය හදුනාගන්නා අවස්ථාව වන විට රෝගය හටගෙන වසර ගණනක් ඉක්මවා ගොස් තිබිය හැකිය. මුල් අවධිවලදී කෙටිකාලීන මතකය නැතිවීයාම බහුලව සිදුවේ. නමුත් මෙය වයස්ගත වීමත් සමග සිදුවන්නක් හෝ මානසික ආතතිය නිසා ඇතිවන්නක් ලෙස වරදවා වටහා ගත හැකිය. ඒ අනුව සාමාන්‍යයෙන් වයසට යාමත් සමඟ පුද්ගලයෙකු තුළ පහත ආකාරයේ ලක්ෂණ රැසක් දක්නට ලැබේ.

  • මොළයට ලැබෙන රුධිර සැපයුම 20% පමණ අඩු වෙයි.
  • ස්නායු දිගේ පණිවුඩ ගමන් කිරීම පෙරට වඩා 10%කින් අඩු වෙයි.
  • රස දැනීමේ හැකියාව හා යමක් අල්ලා  ගැනීමේ හැකියාව පෙරට වඩා අඩු වේ.

වයස්ගතවීමත් සමඟ කෙනෙකු අබල දුබල වනුයේ මෙම වෙනස්කම නිසා ය. ඇල්ෂයිමර් රෝගය ඇති විට ද පුද්ගලයෙකු තුළ පහත ලක්ෂණ ඇති විය හැක.

  • සිහිවිකල් වීම
  • කෝපය
  • චිත්ත ස්වභාවයේ සිදුවන වෙනස්වීම්
  • කථාකරන භාෂාවේ සිදුවන වෙනස්වීම්
  • දීර්ඝ කාලීන මතකය නොමැතිවීම
  • අවට සමාජයෙන් වෙන්වී සිටීම
  • මරණය ළගාවන තෙක් මෙම රෝගීන්ගේ ප්‍රධාන දේහ ක්‍රියාකාරීත්වයන් ක්‍රම ක්‍රමයෙන් දුර්වලවීම

ඉහත කී රෝග ලක්ෂණ මහලුවීම හා ඇල්ෂයිමර් වැළඳුණු විට බහුලව හා පොදුවේ දක්නට ලැබුණ ද එක් එක් රෝගීන්ට තමාට ම ආවේනික වු රෝග ලක්ෂණ ඇති වේ. සාමාන්‍යයෙන් රෝගය වසර 5 සිට 20 දක්වා පැවතිය හැකිය.මෙම රෝගියෙකු වෛද්‍යවරයෙකු හමුවීමට යන්නේ තමාට අමතක වීම ඇති බව දැන ගැනීමෙන් පසුව ය. එයට වෛද්‍යවරයා මගින් රෝගි‍යාගේ හැසිරීම පිළිබදව අධ්‍යයනය කිරීමෙන් ඔහුගේ ප්‍රජානන ක්‍රියාවන් පරීක්ෂණයට බදුන් කිරීමෙන් සහ මොළයේ ස්කෑන් කිරීමකට ලක් කිරීම මගින් රෝග විනිශ්චයට එළඹේ.

ඇල්ෂයිමර් රෝග තත්ත්වයක් ඇති වීම

ස්නායු සෛල විනාශ වී යාම මෙම තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුවයි. මොළයේ එක්තරා විශේෂිත ප්‍රදේශයක මෙම තත්ත්වය හටගැනීම දැකිය හැක. මොළ පටලයේ සුසුම්නා ශීර්ෂයකට ඉදිරියේ පිහිටන මෙම ප්‍රදේශය හඳුන්වන්නේ ‛හිපෝකැම්පසය’ (Hippocampus) ලෙස ය.මෙය නිර්මාණය කෙරෙන ස්නායු සෛල විනාශ වී යාම මෙම රෝගය නිසා ඇතිවන මූලික අහිතකර තත්ත්වයයි. කෙනෙකුගේ මතකය පාලනය කරන්නේ මෙම හිපෝකැම්පසය මඟිනි. එහිදී මූලික වශයෙන් පහත ලක්ෂණයන් ඇති කෙරේ.

  1. සෛල මිය යාම – සෛල මිය යාම හා සම්බන්ධ වෛරස් වර්ග (සෙමෙන් ක්‍රියාකරන වෛරසය) හා සමහර රසායනික ද්‍රව්‍ය විනාශවී යාම පිළිබඳව නිශ්චිත හේතු සොයා ගැනීම තවමත් පරීක්ෂණ මට්ටමක පවතී.
  2. මතකයට හානි වීම
  • කෙටි කාලීන මතකය – පෙර දවසේ පැවසූ දෙයක් අද වනවිට අමතක වීම කෙටි කාලීන මතකය අමතක වීමයි. මෙහි ගබඩා කරගන්නා දේ ටික දවසකින් අමතකවී යයි. රෝගය සෑදීම සඳහා මුලින්ම සිදු වන්නේ කෙටි කාලීන මතකය අහිමිවීමයි. රෝගයේ මුල්අවස්ථාවේ දී අවුරුදු 20 – 30 ට පෙර වූ දේවල් මතකයේ තිබුණ ද පෙර දිනයේ කියූ දේවල් අමතකවී යාම සිදුවේ.
  • දිගු කාලීන මතකය – අවුරුදු ගණනාවකට කලින් හමු වී කෙනෙකු යළිත් හඳුනාගැනීමට දිගු කාලීන මතකය උදව් වේ. මෙහි ගබඩා කළ කරුණු ලෙහෙසියෙන් අමතක නොවේ. කල් යාමේදී අමතකවීම විශාල වශයෙන් සිදු වෙයි. ඇතැම් විට මුහුණ සේදීමට අමතකවීම, කමිසයේ බොත්තම් වැරදි ආකාරයට දැමීම වැනි දේ සිදු විය හැකියි.රෝගය උත්සන්න වීමත් සමඟ කතා බහ පවා අඩුවන අතර අවසානයේ දී මළ මුත්‍රා පහ කිරීමට පවා අමතක වෙයි.

ඇල්ෂයිමර් රෝගය ඇතිවීමට ‍හේතුව සහ එහි වර්ධනය

ඇල්ෂයිමර් රෝගය ඇතිවීමට ‍හේතුව හෝ එහි වර්ධනය පිළිබදව මෙතෙක් හඳුනා ගෙන නොමැත. මෙහිදී මොලයෙහි කැලැල් ඇතිවීමක් හා සංකූලතාවයක් හටගනී. වියපත් මොළයේ සෛල ඇතුලෙ ම ඇතිවන plaques සහ tangles කියන විකෘති වුනු ප්‍රෝටීනයක් , ඒ මොළයේ ම සෛල මරමින් ටිකෙන් ටික මොළය හකුළවාලීම ආරම්භ කරයි  .මෙම රෝගයෙහි අනුමාන කළ හැකි හේතු සාධකයන් සහ ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබද බොහෝ තර්ක විතර්ක ඇත. මෙම විතර්කයන් සනාථ කිරීම සදහා ඒවාට ම අනුකූල වන පරිදි සාක්ෂි ද  ඉදිරිපත් කර ඇත. නමුත් මේ වන තෙක්  මෙම රෝගය නැවැත්විම හෝ නැවත යථාතත්වයට පත් කර ගැනීම සදහා ප්‍රතිකාර ක්‍රම සොයාගෙන නොමැත. තව ද දැනට පවතින ප්‍රතිකාර ක්‍රම මගින් රෝගය තව දුරටත් වර්ධනය වීම අඩාල කිරීමක් සිදුවන බව හෝ එහි රෝග ලක්ෂණ පාලනය කිරීමක් පමණක් සිදුවන බව හෝ සොයා ගෙන ‍නොමැත. ඇල්ෂයිමර් රෝගය වලක්වා ගත හැකි ක්‍රමවේදයන් යෝජනා වී ඇතත් රෝගයෙහි ව්‍යාප්තිය හෝ බැරූරැම් කම අවම කිරීම සදහා ඒ ක්‍ර‍මවේදයන්හි වැදගත්කම ඔප්පු වී නොමැත. මානසිකව නොයෙකුත් උත්තේජයන් ලබාදී මනස ප්‍රබෝධමත් කිරීම හා සමබර ආහාර ‍වේලක් ලබා ගැනීම රෝගය වලකා ගැනීමට මෙන් ම රෝගය සදහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ද වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.

ඇල්ෂයිමර් රෝගියෙකු රැක බලා ගැනීම

මෙවැනි රෝගීන්ට මුලින්ම නැති වී යන්නේ කෙටි කාලීන මතකයයි. ඔවුනට මඳ වේලාවකට කලින් සිදු කල දෙයක් සිදු නොකලාක් මෙන් සිතේ. නමුත් මොවුන්ගේ දිගු කාලීන මතකය එනම්, ඔවුන් කුඩා කල කළ කී දෑ පාසැල් අවධිය ඔවුනට හොඳින් මතකයේ තිබේ. එසේ ම මේ තත්වය නිසා ඔවුන්ගේ පෞරුෂත්වය හා බුද්ධිය හීන වන බව ද පෙනෙන්නට ඇත. මෙම රෝගය පරම්ප‍රාවෙන් පරම්පරාවට උරුමවන බව ද කියැවේ. මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු අතර රෝග ඉතිහාසය මගින් රෝගය පහසුවෙන් විනිශ්චය කල හැක. මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමට නිශචිත ප්‍රතිකාරයක් නැතත් මුල් කාලයේ ම හඳුනා ගැනීමෙන් ද ඇතැම් ඖෂධ ලබාදීම මගින් රෝගය වඩාත් උත්සන්න වීම වළක්වා ගත හැක. එහිදී වඩාත් වැදගත් වන්නේ රෝගීන් රැකබලා ගැනීමයි. මෙලෙස රෝගීන් රැකබලා ගැනීමේදී වඩා සුදුසු ම ක්‍රමය වන්නේ නිවෙස් තුල සිටියදී ම රැකබලා ගැනීමයි. ඊට හේතුව වනුයේ මහළු නිවාස වලට යොමු කිරීමෙන් රෝගය වඩා දරුණු අතට පත්වීමට ඇති නැඹුරුහාවයයි. මෙහිදී මෙවැනි රෝගීන් සඳහා පහත සඳහන් ආකාරයේ ක්‍රියාපිළිවෙත් අනුගමනය කිරීම යෝග්‍යය.  .

  • ඔවුනට මනා ආලෝකයෙන් යුතු කාමරයක් ලබාදීම
  • ඔරලෝසුවක් හොඳින් පෙනෙන සේ සවිකිරීම
  • එදිනෙදා දිනය ලොකුවට ලෑල්ලක ලියා තැබීම
  • වැසිකිළයට යන මාර්ගය ඊතල වලින් නිවසේ සලකුණු කර තැබීම
  • නිවසේ ගෘහ භාණ්ඩ තබන ස්ථානයන් නිතර වෙනස් නොකිරීම
  • ඔවුන් සමග නිතර කථා බහ කිරීම වැනි දේ  වැදගත්ය.

ඇල්ෂයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වන මෙන් ම  සුවකළ නොහැකි රෝගී තත්වයක් නිසා රෝගියා කරුණාවෙන් හා ඉතා හොද අවධානයකින් යුතුව බලා ගැනීම කළ යුතුය. මෙම කර්තව්‍ය රෝගියාගේ සහකරු හෝ සහකාරියගෙන් හෝ රෝගියාට ඉතා සමීප ඥාතියෙකු ගෙන් ඉෂ්ට කර ගත හැකි වේ. මෙවන් රෝගියෙකු රැක බලා ගන්නා ආවතේවකරුවකු වුවද රෝගියා බලාගැනීමේදී ශාරීරික වශයෙන් විඩාවට පත්වන අතර මානසික වශයෙන් ද රෝගියා වෙනුවෙන් සිදු කිරීමට ඇති කාර්යයන් හා කැප කිරීම් නිසා මානසික ආතතියකට පත් විය හැක.

මතකය යනු පුද්ගල ජීවිතයට අත්‍යවශ්‍යයෙන් ම අවශ්‍ය දෙයක් වන අතර මතකය ආශ්‍රිත ගැටලු ඇතිවීම යනු  පුද්ගලයාට තම ආත්මය අහිමි වූවාක් වැනි ය. ඒ අනුව ඇල්ෂයිමර් රෝගය යන්න ද මතකයට හානි පමුණුවන භයානක තත්වයකි. මෙහිදී පුද්ගලයාගේ කෙටි කාලීන මතකයට හානි පැමිණවීමක් කෙරෙන අතර කාලයත් සමඟ සමස්ත මතකයට ම හානි ඇති කර පුද්ගලයා මුළුමනින් ම අක්‍රීය තත්වයටත් තවත් කෙනෙකුගේ සහයෝගයෙන් ජීවත්වන කෙනෙකු බවට පත් කෙරේ. එහිදී ඖෂධ මෙන් ම හෙදකම ද අත්‍යවශ්‍ය වේ. මෙවැනි රෝගීන්ට කිසිදිනෙක සුවයක් නොලැබෙන අතර ජීවිතය තිබෙන තෙක් තවත් කෙනෙකුගේ සහය හා රැකවරණය යටතේ ජීවත්විය හැක. මේ අනුව ඉතාමත් දුර්ලභ ගණයේ අක්‍රමතාවයක් වන ඇල්ෂයිමර් රෝගියෙකු කෙරෙහි දැඩි අවදානයෙන් හා ආදරයෙන් යුතු සැලකිලි ලබාදීම පමණක් කළ හැක.

නොට්ගේ ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ස්තූතිය

  • ලිපි කවරය : Designed by Kues1 / Freepik
  • www.studymode.com
  • www.nhs.uk
  •  www.wikipedia.org
  • blackiswhiteblog.wordpress.com
වාසනා ප්‍රනාන්දු
U. Wasana Lakshanthi Fernando Assistant Lecturer in Psychology, University of Kelaniya who is a former student of Samudradevi Balika Vidyalaya, completed all course units with a second class [Upper Division] Honors and with a GPA of 3.83.  She is following Advance Diploma in Psychotherapy and had followed a Diploma in Counselling Psychology in Mental Health Foundation,  Sri Lanka. ​
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

ප්‍රතිචාර

ප්‍රතිචාර දක්වන්න

ප්‍රතිචාරයක් දමා යන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ප්‍රසිද්ධ ලිපි

උඩට යන්න