මනෝ විද්‍යාව

ද්වේශ කළමනාකරණ ප‍්‍රතිකාරයේ සමාජමය වැදගත්කම හා විවිධ කළමනාකරණ ක‍්‍රමවේදයන් 

Angry

“ඕනෑ ම පුද්ගලයෙකු කෝපයට පත්විය හැක. එය ඉතාමත් පහසුය.
එහෙත් නිවැරදි පුද්ගලයෙකු සමඟ, නිවැරදි ප‍්‍රමාණයෙන් යුක්තව,
නිවැරදි වේලාවක, නිවැරදි අවස්ථාවක හෝ නිවැරදි ආකාරයට කෝපයට පත්වීම ඉතා අසීරු ය.”
–  (ඇරිස්ටෝටල්)

ද්වේශය යනු පුද්ගලයා වේදනාවෙන්, තරහින්, කලකිරීමෙන් හෝ ඉච්ඡුාභංගත්වයෙන් සිටින විට ඇතිවිය හැකි ඉතා ප‍්‍රබල චිත්තවේගයකි. එහෙයින් ද්වේශය යන චිත්තවේගයට තමාව මෙන් ම අන්‍යයන්ව ද වේදනාවට පත් කිරීමේ හැකියාවක් පවතී. එහෙත් එය තීරණය වනුයේ පුද්ගලයා ප‍්‍රතිචාර දක්වන ස්වාභාවය මත ය. පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු වේදනාවට පත්කිරීමෙන් තොරව ප‍්‍රතිචාර දැක්විය හැකි නම් එය ධනාත්මක ප‍්‍රතිචාරයකි. එහෙත් යම් පුද්ගලයෙකු තම චිත්ත අභ්‍යන්තරයේ ද්වේශය තැන්පත්ව තබාගෙන එය නිශ්ක‍්‍රීය ආවේගශීලී චර්යාවක් ලෙසින් තැන්පත්ව පසුකාලීනව ඉන් අනෙකාට හෝ තමාට හානියක් කිරීමට පෙළඹවීමක් ඇති කරන්නේ නම් එය සෘණාත්මක ප‍්‍රතිචාරයකි. එහෙත් එම චිත්තවේගය නිසි ලෙස පාලනය කරගැනීමට හැකියාවක් පවතී නම් පුද්ගලයාට තම සම්බන්ධතා මැනවින් පවත්වාගෙන යාමටත් තම ඉලක්ක සපුරා ගැනීමටත් සෞඛ්‍ය සම්පන්න හා ආත්ම තෘප්තියකින් යුතු අර්ථවත් ජීවිතයක් ගත කිරීමටත් හැකිවනු නිසැක ය. මේ සඳහා ද්වේශය කළමනාකරණය (Anger Management) හෝ පාලනය කරගත යුතු ය.ද්වේශය යනු පූද්ගලයාගේ දෛනික ජීවිතයෙහි ම එක් කොටසකි. එය උප විඥානිකව හෝ විඥානිකව පුද්ගලයාගේ දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී ආවේගශීලීත්වය, නොරිස්සුම් සහගත බව හෝ ප‍්‍රචණ්ඩත්වය වැනි විවිධ ස්වරූපයන්ගෙන් බාහිරට විද්‍යාමාන වේ. බොහෝමයක් මනෝවිද්‍යාත්මක න්‍යායන්ට මිනිසාගේ පසුකාලීන සංවර්ධනය සඳහා ළදරු අවධියේ ප‍්‍රාථමික පේ‍්‍රරණයන් ඉටුවීම හෝ නොවීම බලපානු ලබයි. එහෙයින් කුඩා කළ තම අවශ්‍යතා ඉටු නොවීමෙන් අභ්‍යන්තරිකව ඇති කෙරෙන අතෘප්තිකර චිත්තවේගයන් පසුකාලිනව ද්වේශ සහගත හෝ ඉච්ඡුාභංගත්වය සහිත මිනිසෙකු නිර්මාණය වීම සඳහා බලපෑ හැක.

කෙසේ වෙතත් මෙලෙස ද්වේශය පුද්ගල අභ්‍යන්තරයෙහි ඇතිවීමෙන් එය තමා අවට සිටින පුද්ගලයින් අතර පවත්නා සම්බන්ධතාවයන්ටත් සමස්ත සමාජ සන්දර්භයටත් අහිතකර අයුරින් බලපානු ඇත. එනම්, ද්වේශය ඔබේ පාලනයෙන් තොර වූ විට එහි ප‍්‍රමාණාත්මක අගය ඉහළ ගොස් ආතති මට්ටම ද ඉහළ යෑමක් සිදු වේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ද්වේශය නිසා හටගත් දිගුකාලීන කෝපය මත හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලොස්ටර්රෝල්, ප‍්‍රතිශක්තිය දුර්වල වීම, අනිද්‍රව වැනි අහිතකර කායික ලක්ෂණ ඇති කෙරේ.

ද්වේශයේ මානසික බලපෑම පිළිබඳව විමසා බැලීමේදී එය මානසික ශක්තිමත් බවටත් සවිඥානික බවටත් චින්තනයටත් බාධා පමුණුවන බවක් දක්නට ලැබේ. එමෙන් ම සිත එකඟ කරගැනීමට අපහසුවීමත් ජිවිතය දෙස බලන දැක්ම ඉතාමත් පටුවීමටත් බලපායි. මෙසේ හෙයින් කාලයත් සමඟ උග‍්‍ර ආතතිය, විශාදය හා වෙනත් මානසික අක‍්‍රමතා දක්වා ද ද්වේශය බලපෑ හැක.

මෙලෙස පුද්ගලයා කායිකව හා මානසිකව දුර්වලවීමෙන් ඔහු අන්තර් සම්බන්ධතා පවත්වන පුද්ගලයින් හා එම සම්බන්ධතා වලට ද ඉන් බලපෑමක් ඇති කෙරේ. ඔවුනොවුන්ගේ මතයන්ට ගරු නො කිරීම, පහරදීම හෝ බැන වැදීම වැනි කාරණා හේතුවෙන් ද්වේශය විසින් අන්‍යයන් කෙරෙහි රිදවීම් සිදු කරවයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පුද්ගල සම්බන්ධතා මෙන් ම සමාජ සම්බන්ධතාවයන්ට ද හානිකර ප‍්‍රතිඵල උදා වේ. එබැවින් ගෘහීය පරිසරය තුළ මෙන් ම වෘත්තීය පරිසරය තුළ ද ගැටලූකාරී පසුබිමක් නිර්මාණය වේ.

ඒ අනුව ද්වේශය කායික – මානසික – සමාජීය හා සෞඛ්‍ය යන සෑම අංශයක් කෙරෙහි ම බලපෑම් එල්ල කරවයි. මේ නිසා අද වනවිට සමාජය තුළ ස්ව හිංසනට, සමාජ අපරාධ, දූෂණ, වංචා හා පෞද්ගලික ජීවිතයේ විවිධ හැල හැප්පීම්, විවාහ ජීවිත හා පවුල් දෙදරා යාම, සියදිවි නසා ගැනීම හෝ ඝාතනය කිරීම වැනි තත්වයන්ගේ සංඛ්‍යාත්මක වර්ධනයක් දක්නට ලැබේ. එහෙයින් ද්වේශය පාලනය නො කිරීම පුද්ගලයාගේ සෞඛ්‍යයට මෙන් ම තම පෞද්ගලික, සමාජීය හා වෘත්තීය ජීවිතයට ද බාධා ඇති කරවයි. එබැවින් ද්වේශ කළමනාකරණය යනු එක් අතකට පුද්ගලයා වඩාත් සමබර හා සර්ව සම්පූර්ණ අයෙකු බවට පත් කිරීමේ ක‍්‍රමවේදයකි.

මේ අනුව ද්වේශය පාලනය හෙවත් කළමනාකරණය යනු එක්තරා අන්දමකට තම සිතිවිලි පාලනය කොට සන්සුන්වීමට පුහුණු කිරීමක් ලෙසින් ද අර්ථ කථනය කළ හැක.  එසේත් නැතිනම් ද්වේශය ධනාත්මක ලෙස යොදා ගැනීමක් ලෙසින් ද ද්වේශ කළමනාකරණය යන්න අර්ථ දැක්විය හැක. ඒ අනුව ද්වේශය කළමනාකරණය සඳහා යම්කිසි විධිමත් වැඩසටහනක් ක‍්‍රියාත්මක කළ යුතු ය. එවැනි වැඩසටහන් මගින් ද්වේශය තාර්කිකව විශ්ලේෂණය කරමින් එය කිසියම් ඵලදායී කටයුත්තක් සඳහා මුදාහැරිමට පොළඹවාලීමක් සිදු කෙරේ. ඒ අතරින් ද්වේශ කළමනාකරණය සඳහා වඩාත් ජනප‍්‍රිය වී ඇත්තේ උපදේශනය යි. එහෙත් උපදේශනයට ත් වඩා ගැඹුරු මනෝ ප‍්‍රතිකාර ක‍්‍රම මනෝ චිකිත්සනය තුළ දක්නට ලැබේ. එවැනි චිකිත්සන ක‍්‍රම ප‍්‍රධාන ආකාර දෙකකින් යුක්ත වේ. එනම්,

  1. ද්වේශ බහිෂ්කරණය කිරීමේ ක‍්‍රමවේද
  2. ද්වේශය කළමනාකරණය හෝ පාලනය කිරීමේ ක‍්‍රමවේද

ද්වේශ බහිෂ්කරණය කිරීමේ ක‍්‍රමවේද පිළිබඳ විමසා බැලීමේදී ඒවා මනෝවිද්‍යාවේ එන විවිධ ගුරුකුල හා බැඳී  සංකල්ප හා න්‍යායන් ඔස්සේ ක‍්‍රියාත්මක කෙරෙන බව දක්නට ලැබේ. ඒ අනුව ප‍්‍රධාන ද්වේශ බහිෂ්කරණ ප‍්‍රතිකාර ක‍්‍රමවේද තුනක් හඳුනාගත හැක. එනම්,

  • මනෝ විශ්ලේෂණවාදී ප‍්‍රතිකාර ක‍්‍රමවේදය
  • චර්යාත්මක ප‍්‍රතිකාර ක‍්‍රමවේදය
  • ප‍්‍රජානන චර්යා ප‍්‍රතිකාර ක‍්‍රමවේදය

ද්වේශය පිට කිරීමේ මුල්කාලීන ක‍්‍රමවේදය වූයේ මනෝවිශ්ලේෂණය යටතේ සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් විසින් හදුන්වා දුන් භාව විරේචන ක‍්‍රමය යි. මෙහිදී කෝපයට පත් හේතූන් ඉදිරිපත් කිරීමට හෝ වාර්තා කිරීමට ඉඩ සලස්වයි. මෙය සිතිවිලි වාර්තාකරණය ලෙසින් ද හදුන්වනු ලබයි. අනතුරුව මෝහන ක‍්‍රමවේදය ඔස්සේ නිද්‍රාවකට පත්කර කෝපය ඇති කරවන උත්තේජකය හා එයට ප‍්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව මනසට හොඳ යෝජනා ඉදිරිපත් කෙරේ. එමෙන් ම මෙමගින් කෝපයට හේතුවන කාරණාවන් තාවකාලිකව යටපත් කිරීම හෙවත් අවරෝධනය කළ හැක.

මෙම සිතිවිලි වාර්තාකරණ ක‍්‍රමය හේතුවෙන් පුද්ගලයාට කෝපය හා සම්බන්ධ හේතු, කෝපය ඇති වන වේලාව හා පුද්ගලයා හෝ කාරණාව සම්බන්ධයෙන් ස්වයං අවබෝධයක් ලබා ගැනීමටත් එය කළමනාකරණයට ත් සහයක් ලැබේ.

ද්වේශ බහිෂ්කරණය කිරීමේ චර්යාත්මක ප‍්‍රතිකාර ක‍්‍රමවේදයට අනුව ද්වේශය කළමනාකරණය කරනුයේ කිසියම් චර්යාවක නිරත කරවීමට සැලැස්වීමෙනි. එසේත් නැතිනම් කිසියම් ක‍්‍රීඩාවක නිරතවීමෙන් ද ඵලදායී ලෙස වෘත්තීය ප‍්‍රතිකාරය යටතේ යම් ක‍්‍රියාකාරකමක නිරතවීමෙන් ද ද්වේශය කළමනාකරණය කරගත හැක.  නිදසුනක් වශයෙන් ද්වේශයෙන් සිටින විට කායික ව්‍යායාමයක යෙදීම, පරිගණක ක‍්‍රීඩාවක යෙදීම, පොළව කොටා පාත්ති සැකසීම හෝ රෙදි සේදීම වැනි දෛනික ජීවිතය හා සම්බන්ධ කටයුතු වල ම නිරතවීම දැක්විය හැක.

ද්වේශ බහිෂ්කරණය කිරීමේ ප‍්‍රජානන චර්යා ප‍්‍රතිකාර ක‍්‍රමවේදයට අනුව පුද්ගල සිතිවිලි නවීකරණය ත් පුද්ගල චර්යා නවීකරණයත් සිදු කිරීම ඔස්සේ ද්වේශය කළමනාකරණය කළ හැක. මේ යටතේ සෘණාත්මක සිතිවිලි හා චර්යාවන් ධනාත්මන සිතිවිලි හා චර්යාවන් බවට වෙනස් කිරීම සිදු වේ. මේ සඳහා සංවාදශීලී ප‍්‍රතිකාර ආකෘතිය භාවිතයට ගනු ලබයි. ඒ ඔස්සේ ප‍්‍රතිකාරලාභියා යථාර්ථයට ගැනීමත් ද්වේශය ඇතිවීමේ ආකාරය හා හේතු සම්බන්ධ ස්වයං අවබෝධයක් හා ස්වයං චර්යා පාලනයක් හෝ වෙනස්කිරීමක් කළ හැක.  මේ සඳහා සිතිවිලි නවීකරණය හා චර්යා නවීකරණය භාවිතා කළ හැක. මෙහිදී පළමුව හොඳින් ශරීරය හා මනස ලිහිල් කොට යම් කිසි ක‍්‍රියාකාරකමක් කිරීමට ලබාදී සියලූ සෘණ සිතිවිලි එමගින් ඉවත්ව යන බව ත් වාර කිහිපයක් කිරීමෙන් එය මැනවින් කළමනාකරණය කිරීමට හැකියාවක් ගොඩනංවයි. මේ ඔස්සේ ද්වේශ සහගත සිතිවිලි හා චර්යාව පාලනය කරගැනීම මැනවින් පුහුණු වේ.

මෙවැනි ද්වේශ බහිිෂ්කරණ ක‍්‍රමවේදයන්ට අමතරව ද්වේශය කළමනාකරණය කිරීම සඳහා තවත් ක‍්‍රමවේද රැසක් ම පවතී. ඒ අතුරින් ජනප‍්‍රිය ම ක‍්‍රමවේද ලෙස සන්සුන්වීමේ අභ්‍යාස,  භාවනාව, සංගීත චිකිත්සාව යනාදිය හඳුන්වාදිය හැක.  මීට අමතරව පුද්ගලයෙකු දිනපතා ප‍්‍රමාණවත් සුව නින්දක් ලබා ගැනීම, අත් පා ඇඟිලි දිගහරිමින් හා නවමින් සුළු ව්‍යායාම වල නිරත වීම, ස්වසන අභ්‍යාස කිරීම, බයිසිකල් පැදීම හෝ පිහිනීම වැනි ක‍්‍රියාවක දිනපතා නිරත වීම, විනෝදාත්මක ක‍්‍රීඩාවක නිරත වීම, අකැමති දේවල් හා පුද්ගලයින් මගහැරීම හෝ කලාත්මක නිර්මාණකරයේ නියැලීම වැනි දෑ සිදු කිරීමෙන් ද පුද්ගලයා තුළ ඇති කෙරෙන ආවේගශීලී, ද්වේශ සහගත සිතිවිලි හා චර්යාවන් පාලනය හා කළමනාකරණය කරගත හැක.

එමෙන් ම ද්වේශය දරාගැනීම සඳහා අංක 1 සිට 10 ට ආරෝහණ හා අවරෝහණ අනුපිළිවෙළට ගණන් කිරීම, තමා ද්වේශ සහගත වීමට හේතු කාරණා සිතා බලා යථාර්ථය වටහා ගැනීම, ද්වේශ සහගත වීමට බලපාන හේතු ලිවීම, තරහාව පාලනයට ධනාත්මක දෙයක් කිරීම ටෙනිස්බැඞ්මින්ටන් බර ඉසිලීම පිහිනීම වැනි ක‍්‍රීඩාවක නිරත වීම හෝ සහකම්පනය දියුණු කරගනිමින් මිනිසුන් සමඟ හොඳින්  සම්බන්ධතා පැවැත්වීමට  වගබලා ගැනීම   තුළින් ද ද්වේශය කළමනාකරණය කර ගත හැක. මෙමගින් පුද්ගලයාට මෙන් ම පුද්ගලයා සම්බන්ධතා පවත්වන වෙනත් පුද්ගලයින්ට හා සමස්ත සමාජයට ම වඩාත් සාමකාමී ඉවසීමෙන් යුක්ත ධනාත්මක ජීවිතයක් ගත කරන පුද්ගලයින් නිර්මාණය කෙරේ. ඉන් ක්ෂණික කෝපය හා දිගුකාලීන කෝපය නිසා ඇති වන සමාජ අපරාධ හා දුස්සමාහිත සිදුවීම් හීන කොට වඩා යහපත් වූත් සාධු සම්මත වූත් ඉවසිලිවන්ත, විචාරමත්, යථාර්ථවාදී  මිනිසුන් පිරි සමාජයක් ගොඩනැංවීමට උපකාරී විය හැක.

නොට්ගේ ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ස්තූතිය

U. Wasana Lakshanthi Fernando is a Lecturer in Psychology for external degree students and private institutions. She is a former student of Samudradevi Balika Vidyalaya,  where she completed her A/Ls with flying colours and was selected to Arts Faculty, University of Kelaniya in Sri Lanka.  She also followed a Bachelor of Arts in Psychology degree and successfully completed all course units with a second class [Upper Division] Honors and with a GPA of 3.83.  She is following Advance Diploma in Psychotherapy and had followed a Diploma in Counselling Psychology in Mental Health Foundation,  Sri Lanka. ​​
.
වාසනා ප්‍රනාන්දු
U. Wasana Lakshanthi Fernando Assistant Lecturer in Psychology, University of Kelaniya who is a former student of Samudradevi Balika Vidyalaya, completed all course units with a second class [Upper Division] Honors and with a GPA of 3.83.  She is following Advance Diploma in Psychotherapy and had followed a Diploma in Counselling Psychology in Mental Health Foundation,  Sri Lanka. ​
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

ප්‍රතිචාර

ප්‍රතිචාර දක්වන්න

ප්‍රතිචාරයක් දමා යන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ප්‍රසිද්ධ ලිපි

උඩට යන්න