මනෝ විද්‍යාව

මට  හිතෙන හැටි 01  – අනුකරණය

අද අප ජීවත්වන සමාජය තුල කවර විෂය ක්ෂේත්‍රයක හෝ කවර තරාතිරමක හෝ තමන්ටම ආවේණික වූ අනන්‍යතාවයකින් යුතු පෞරුෂයක් සහිත පුද්ගලයන් දක්නට ලැබෙනුයේ ඉතා කලාතුරකින්ය. එපමණක් නොව කේශාන්තයේ සිට පාදාන්තය දක්වා නොයෙක් විලාසිතාවන්ගෙන්  සම්පූර්ණ පුද්ගලයන් සහිත මෙසමාජයේ කථන  විලාශයේ පවා විවිධත්වයක් දක්නට ලැබේ. ​
ගමන බිමන ද ඊටම ආවේණික රටාවක් පෙන්නුම් කරනු ලැබේ. මෙම තත්වය කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම බලපා ඇති පොදු කාරණාවක් වී ඇත්තේය. ඇත්ත වශයෙන්ම බොහෝ විට අප හට හමුවන්නේ විපරීත පෞරුෂයන් සහිත අනුකරණවාදීන්ය. මෙම වෙනස්වීම් වලට තාක්‍ෂණය හා ගෝලීයකරණය  උත්ප්‍රේරක සපයා ඇතත් එ මඟින් දේශීය සංස්කෘතිය සෝදා පාළුවකට ලක්වීම නොවැලක්විය හැකි කාරණයක් වි හමාරය.අනුකරණවාදී වෙළඳපොළක් තුල මෙම පසුබිම වඩාත් ඉස්මතු වී පෙනෙන්නට පවතී. මෙහිදී තමාම වෙළඳ භාණ්ඩයක් වී සමාජයේ කැපී පෙනෙන පුද්ගල පෞරුෂයක් තනා ගැනීමට වෙහෙස වන්නන්ද සුලභය. ජනමාධ්‍යයන් මගින් පුම්බන්නාවූ සුපිරි තරු පෞරුෂ සංකල්පයන්ද මෙකී කාරණාවට පොහොර දමන යුගයක ඒ සඳහා ඔවුන් නොකරන්නා වූ දෙයක් නොමැත.
උදාහරණ ලෙස  ඇතැම්හු සිය කොණ්ඩා කපන මෝස්‌තරය වෙනස් කර ගනිති; කොණ්ඩය ඍජු හෝ රැළි කර ගනිති; කේශ වර්ණය වෙනස් කර ගනිති; පච්ච කොටා ගනිති; ඇඟටම හිර වූ ඇඳුම් විලාසිතා අනුගමනය කරති; මස් පිඬු වර්ධනය කර ගනිති; විවිධ ආයිත්තම් වලින් සැරසෙති; අමතර උපාංග බහුලව පරිහරණය කරති; විදේශීය වෙළඳ සන්නාමයන් සහිත භාණ්ඩ භාවිතා කරන බව අවට පුද්ගලයන් හට පවසති.  මෙයින් නොනැවතී ඔවුහු ස්වකීය කථනය තුල පවා විවිධාකරයේ වෙනස්කම් මතු කිරීමට උත්සහ දරති. බොහෝ විට තම මවුබස අපහසුතා සහිතව කතා කරන බව ඇඟවීම සහ ඉංග්‍රීසි බසෙහි කොටස් අතරමැදට යොදා කතා කිරීම තරම් තවත් සන්තෝෂයක් ඔවුනට නොමැත.දිගු කලක් විදේශීය රැකියාවන්හි නියුතු වී කෙටි නිවාඩුවක් සඳහා මෙරටට පැමිණෙන්නාවූ බහුතරයක් තුලද මෙකී ලක්ෂණ කිහිපයක් ගෙන හැර දැක්විය හැකිය. ප්‍රධාන වශයෙන් යුරෝපා රටවලින් පැමිණෙන්නාවූ ලාංකිකයන් තුල වාග් සම්ප්‍රදායේ කැපී පෙනෙන වෙනස්කම් දැකිය හැකිය. තමන් එකී රටෙහි භාෂා උරුව (accent එක) ඉංග්‍රීසි කථනය තුල යොදා ගන්නන් බව අතිශයෝක්තියෙන් ඇඟවීමෙන් හා  තවදුරටත් ලාංකීය සංස්කෘතියට අයත් නොවනා බව ප්‍රදර්ශනය කිරීම මඟින් ඔවුන් කරන්නේ අපගේ දීන පරගැතිකම තවදුරටත් අප හට පසක් කර දීමය.

මෙවැන්නන් රටේ ලෝකයේ ඔබටත් හමු වී ඇති බව නිසැකය. තමන් ගැන හීනමානයෙන් පෙළෙන මොවුන් අනුකරණය තුලින් තම අඩු ලුහුඩුකම් වසා ගැනීමට ප්‍රයත්න දරනවාද යන්න ඔබ ප්‍රථමයෙන් සැක හැර දැන ගත යුතූය. එසේම, තමන්ද අනුකරණයෙහි නොගැළපෙන ගොදුරක් බවට පත් වනවාද යන්න ඔබම තීරණය කළ යුතුය.

එනමුදු යම් පුද්ගලකුට තමන්ටම ආවේණික පෞරුෂයක් තනා ගැනීම කෙටි කාලයකින් ද ඉටුකරගැනීමද අපහසු කර්තව්‍යයකි. ඒ තම අත්දැකීම්, දැනුම, ආකල්ප මෙන්ම කුසලතා සමඟ පෞරුෂය බද්ධව පවතින හෙයිනි.

අනුකරණය යුගයේ අවශ්‍යතාවයක් දැයි ප්‍රශ්නාර්ථයක් මතුවන සෑමවිටම මට සිතෙනුයේ එය දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩක් ලෙසය. අනුකරණය අපගේ හර  පද්ධතින්ට හානි නොකරමින් ඉතා සුපරික්ෂාකාරීව සමාජයේ  යහපත් ප්‍රගමනය උදෙසා අනුගමනය කිරීමෙහිලා වරදක් දැකීම කාහටත් අපහසුය. ඒ සඳහා නුවණ මෙහෙයවා අනුකරණය භාවිතය කාලීන අවශ්‍යතාවයක් ලෙස පරිණාමය කරවීම අප සියල්ලන්ගේම වගකීමක් වේ .

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

ප්‍රතිචාර

1 ප්‍රතිචාර

1 ප්‍රතිචාර

  1. උපේක්ෂා

    2016 අප්‍රේල් 19 at 4:32 පෙ.ව.

    නූතනයේ තවදුරටත් කතාබහට ලක් විය යුතු වැදගත් මාතෘකාවක ආරම්භයකි.
    සුභ පැතුම්_

ප්‍රතිචාරයක් දමා යන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ප්‍රසිද්ධ ලිපි

උඩට යන්න